අපි දන්න කියන ඉතිහාසයට අනුව ( රාවණා රජ්ජුරුවන්ගේ, දඩුමොණරයේ කතා ඇත්තක් නම් මම මේ ලියන වාක්‍ය බොරු වෙනවා) ඉතිහාසයේ අන්කවරදාකටවත් වඩා භෞතික අතින් ඉතා දියුණු මට්ටමකට මිනිසා අද පැමිණ සිටිනවා. හෝමෝ ඉරෙක්ටස් ගේ සිට නූතන මානවයා දක්වා පැමිණි මේ ගමනේ සාර්ථක බවට ඉතාම වැදගත් සාධකයක් විදිහට ‘මිනිසාගේ කුතුහලය’ හදුන්වන්නට පුළුවන්. මම දකින විදිහට අපගේ ලෝකයේ හෙට දවස බිහිවන්නේ අද දවසේ අප තුළ ඇති කුතුහලයන් සන්සිදුවා ගැනීමට අප ගන්න විවිධ ක්‍රියා මාර්ග තුළින්.
ඉතින් මීට අවුරුදු දහස් ගනනකට පෙර අපේ මුතුන් මිත්තන්ට අවට ලෝකය ගැන පුදුමාකාර කුතුහලයක් පවතින්ට ඇති. ඒ නිසාම මේ ලෝකය පුරා විවිධාකාරයේ අරුම පුදුම ශක්තීන් සැගවී ඇති බවට ඔවුන් විශ්වාස කරන්නට ඇති. ඒ ශක්තීන් තුළින් කවදා හෝ අමරණිය වීමට, ඕනෑම රෝගයක් සුවපත් කළ හැකි ඖෂධ සාදාගැනීමට පමණක් නොව ඕනෑම දෙයක් රත්තරන් බවට පත්කර ගන්නට පුළුවන් වේවි යැයි ඔවුන් සිතීම පුදුමයක් නෙමෙයි. අපි කවුරුත් දන්නවනේ මොකක් හෝ කුතුහලයක් ඇති වුනාම ඒ ගැන හොයල බලනකම් හිතට නිවනක් නෑ කියලා. ඉතින් අන්න ඒ එදා මිනිසුන් ඔවුන් මේ විශ්වාස කළ සැගවුනු ශක්තීන් ගැන සොයන්නට පටන් ගත්තා. ඒ අයව හදුන්වන්නේ ඇල්කෙමිවරු ‘alchemist’ කියලයි. නමුත් අද වෙනකොට එදා දුටු සිහින සදාකල් මානව වර්ගයාගේ සිහිනයක් ලෙසම පවතින බව පැහැදිළිවී අවසන්. නමුත් ඒ අරමුණට යන්නට ගත් උත්සාහය නම් අපතේ ගියේ නෑ. අද දවසේ ලෝකයේ එක් පදනමක් වන විවිධ රසායන ද්‍රව්‍ය බිහිවූයේත් සෑම නව සොයාගැනීමකට පදනම වූයේත් මේ මහා ගවේෂණය හා එහි අතුරු ප්‍රතිඵලයි.
අද වෙනකොට ඇල්කෙමිවරු මේ ලෝකය මත නෑ. නමුත් ඔවුන්ට නෑකම් කියන ඔවුන්ගේ පරපුරේ නූතන පුරුක් ලොව පුරාම පැතිරී සිටිනවා. විද්‍යාඥයන් විවිධ පර්යේෂකයන් ඒ අතර විශේෂයි. ඒ අතර තවත් පිරිසක් සිටිනවා මේ ලෝකයට සුවිශේෂී කාර්යයක් කරපු මෙන්ම කරන. ඒ තමයි ‘chemical and process engineers’ හෙවත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්.
මම හිතන්නේ ලංකාවේ තවමත් බොහෝ දෙනෙක් මේ වෘත්තිය පිළිබදව දන්නේ නෑ. එහෙමත් නැත්නම් පැහැදිළි අදහසක් නෑ. ඉංජිනේරු විෂය බොහොම පුළුල් විෂයක්. අතීතයේ නම් සිවිල්, කාර්මික, විදුලි ආදී සීමිත ක්ෂේත්‍රන් වලින් සමන්විත වුවත් අද වන විට ඉංජිනේරු විෂය සීමා මායිම් නැති විෂයක් බවට පත්වෙලා. ඉලෙක්ට්‍රොන්ක්, පරිඝනක, ද්‍රව්‍ය (materials), ආදී පමණක් නොව food, polymer, nano technology, nuclear, environmental, biochemical ආදී මෙකී නොකී ක්ෂේත්‍රන් ගණනාවක ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති ඉංජිනේරුවන් සිය දහස් ගණනක් අද ලෝකයේ සිටිනවා. නමුත් ලංකාවේ සමාජය තුළ මේ සම්බන්ධයෙන් ඇති දැනුම දුර්වල මට්ටමකය් පවතින්නේ. බොහෝ දෙනෙක් සිතන්නේ ඉංජිනේරුවන් සිටින්නේ ගොඩනැගිලි හෝ යන්ත්‍ර සූත්‍ර ගොඩ නැගීමට කියාය. නමුත් අද එතනින් ඔබ්බට ගිය වගකීමක් ඉංජිනේරුවන් හට පැවරී ඇත. රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන් යනු එවැනි වගකීමක් ඇති ඉංජිනේරුවන් පිරිසකි.
කාර්මික විප්ලවයට පෙර ලෝකයේ සම්පත් හෝ බලශක්තිය සීමා සහිත යැයි හෝ නිශ්පාදන වියදම අවම කරගත යුතු යැයි හැගීමක් මිනිසුන් තුළ තිබුනේ නෑ. ඒ නිසා විශේෂයෙන්ම බටහිර සමාජය තුළ කාර්යක්ෂම නිශ්පාදනයකට එනම් භාවිතා කරන අමුද්‍රව්‍ය හා බලශක්තියට අනුරූපීව උපරිම නිශ්පාදනයක් හෝ අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හා අවම බලශක්ති ප්‍රමාණයක් වැය කර නිශ්පාදනය කිරීමට අවශ්‍යතාවයක් ඔවුන් සතුව තිබුනේ නෑ.
නමුත් කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණ නිශ්පාදනයත් වෙළද පොළ තරග කාරී බවත් වර්ධනය වූවා. ඒ සමගම එවකට නිශ්පාදකයන්ට පෙර කී කාර්යක්ෂම නිශ්පාදන සංකල්පය අත්‍යවශය වූවත් එවකට පැවති ඉංජිනේරුමය දැනීම එයට ප්‍රමාණවත් වූයේ නෑ. මේ සදහා එවකට පැවති ඉංජිනේරු දැනුමට රසායන විද්‍යාවේ දැනුම පමණත් නොව ගණිතය, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යායවද අවැසි වූවා. මෙලෙස සියළු විද්‍යාවන්ගේ අපූරු සංකලනයකින් එදා රසායන හා ක්‍රියාවලි පිළිබද ඉංජිනේරු විද්‍යාව එළිය දුටුවා. මහා පරිමාණයේ කර්මාන්ත ඇති යුරෝපයේ හා ඇමරිකාවේ අදටත් ඉතා විශාල ඉල්ලුමක් ඇති වෘත්තයක් වන්නේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ය.
නමුත් රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ හැකියාවන් හා වගකීම් පැහැදිළි ලෙස විස්තර කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් නැති බව මගේ විශ්වාසයයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලිපි පෙළක් ලිවීමටද බලාපොරොත්තු වනවා. ඒ අතරම තවත් දෙයක් මතක් කරන්නට ඕනේ. ඒ තමයි රසායන හා ක්‍රියාවලි ඉංජිනේරුවන්ගේ දස්කම් විස්කම් සියැසින් දැකබලා ගැනීමට අපූරු අවස්ථාවක් එළඹෙන ජුනි මස 11,12 හා 13 යන දින වල මොරටුව විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන ExMO 2010 ප්‍රදර්ශනයේදී ඔබට හිමි වනවා.